*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...***

Thursday, April 11, 2019

"ආදරය"


බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්‍රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ හොයනවා. පොඩි කාලේ අම්මා, අප්පච්චි, ඉස්කෝලේ යනකොට ගුරුවරු යාලුවෝ, තරුණ වයසට ආවාම පෙම්වතා/පෙම්වතිය, විවාහ වුණාම ස්වාමිපුරුෂයා /බිරිඳ, දරුවන්, මුණුබුරන් ආදී විදියට ජීවිතයේ එක් එක් ස්ථරවල දී අපි එක එක විදියට ආදරේ හොයනවා...

අද වෙනකොට ආදරෙන් ගොඩනැගෙන ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ තරුණ ප්‍රජාව අතරේ. පෘථග්ජන හිත් දුකට නොදැනම ආදරේ කරන බව කවුරුත් දන්නවා වුණාට ඒක හරියටම හරිම වෙලාවේ අඳුරගන්න ඔයාටවත් මටවත් බැහැ. තමන්ගේ පෙම්වතිය, පෙම්වතා ඉදිරියේ ආදරය අන්ධයි කියලා කතාවක් ගොඩනැගිලා තියෙන්නෙත් ඒ හින්දාම වෙන්න ඇති. කොහොම වුණත් හැමෝම කියන විදියට තරුණ කාලේ ආදරේ තමයි සුන්දරම ආදරේ. මේක ඇත්තක්ද? කිසිම දවසක සමාවක් හිමි නොවන සුන්දර වරදක් කියන ආදරේ ඇයි අද වෙනකොට බහුතරයකගේ අප්‍රසන්නම මාතෘකාව බවට පත් වුණේ?

අද සමාජයේ ගීත සංස්කෘතිය දිහා බැලුවත්, ටෙලිනාට්‍ය කලාව දිහා බැලුවත්, නවකතා කෙටිකතා කියෙව්වත්, කවියක් කියෙව්වත් නිතරම වගේ කියවෙන්නේ ගැහැනුන්ගේ බොළඳ, වංචනික ආදරේ හමුවේ පරාජයට පත් වන අහිංසක පිරිමි චරිත පිළිබඳවයි. 1%කටත් වඩා අඩු ප්‍රමාණයකින් ඊට විරුද්ධ දිශාව පිළිබඳ කියවෙන සාහිත්‍යාත්මකයැයි කියාගන්නා මෙවැනි නිර්මාණ, ආදරය අරුත්ගන්වන ආකාරය පිළිබඳව මේ වනවිටත් සමාජ කතිකාවතක් ඇති වෙලා හමාරයි. ඇත්තටම අද සමාජය තුළ ආදරය පිළිබඳ මූලික ගැටලු රාශියක් මතුවීමට මෙකී හේතුව ප්‍රබල මනෝවිද්‍යාත්මක කාරණාවක් බවට පත් වී ඇති බව ඔබත් මමත් අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමයි.



"පෙම්වතියන් මෙසේය", "පෙම්වතුන් මෙසේ ය" ආදී වශයෙන් මානුෂ චිත්ත ධාරාවන් තුළට තදින්ම කා වැදී ඇති මෙකී මනෝභාවයන්, ඉබේම පෙම්වතුන් අතර රෝපණය වීම හරහා ආදර කතාවන් නොසිතූ අන්දමින් අහේතුකව විනාශ වී යන අයුරු මෑත කාලීනව ප්‍රබල ලෙස දක්නට ලැබුණා.

අදාළ සාහිත්‍යාත්මකයැයි කියාගන්නා නිර්මාණ තුළ යොදාගනු ලබන රූපරාමු හා චරිතවල ස්වභාවයද, ශාරීරික හැඩයන්ද නොදැනුවත්වම තම පෙම්වතා හෝ පෙම්වතියගෙන්ද බලාපොරොත්තු වීම මෙහි අනෙක් පැතිකඩයි. සිහින් සිරුරක් සහිත, ඉතා පැහැපත්, සුදු පැහැති, ශෘංගාරී පෙම්වතියක්ද, හැඩිදැඩි සිරුරක් සහිත, Six packs සහිත, රැවුල වැවූ පෙම්වතෙක්ද එකිනෙකාගෙන් සොයා යාමට පෙළඹෙනවා.

සමාජය තුළ වෙනස්ම ආකාරයේ සිතුවිලි, හැඟීම් නිර්මාණය කරන මෙකී සාහිත්‍ය අතරේ සැබෑම කතාව, ව්‍යාජ ප්‍රේම කතා අතරේ වැළලී ගිහිල්ලා. උක්ත නිර්මාණ තුළ වුවත් සැබෑ කතාව ව්‍යංගයෙන් ඉදිරිපත් කළත් එය සමාජ කතිකාවත තුළ ද ව්‍යංගයක් බවට ම පත් වීම ශෝචනීයයි.

මුදල් මූලික වූ සංකීර්ණ සමාජ ක්‍රමය තුළ කෙල්ලෙක් පෙර මෙන් නොකා නොබී, ලුණුයි බතුයි කෑමට පෙම්වතෙක් හොයන්නෙ නැහැ. ඇයගේ පවුල් පරිසරය තුළ කිසිදු විටෙක ඇයට දුක් විඳින්නට සිදු වෙන විවාහයක් කරගැනීමට ඉඩ දෙන්නේද නැහැ. නමුත් එම කාරණාව වළලා කෙල්ලන්ගේ බොළඳ බව පමණක් ම ඉස්මතු කිරීම මෙම නිර්මාණයන්හි මූලික පරමාර්ථය වීම උගහට කරුණක්.




මින් එහාට ගිය ම් සැබෑ ආදර කතා කොතෙකුත් අපි අතර තිබුණත් ඍණාත්මකවම ප්‍රේමය දිහා බලමින් වියෝව විතරක්ම හදවත තුළ ස්ථාපනය කරන්නට මෙම වත්මන් ගීත සාහිත්‍ය ද, කාව්‍යම‍ය නිර්මාණද, ටෙලිනාට්‍ය කලාවද දරනු ලැබූ ප්‍රයත්නය සාර්ථක වී ඇත්තේ අපගේ ඍණාත්මක සාක්ෂරතාව නිසාම ය.

වෙසෙසින් ම තරුණ අපි මින් ඔබ්බට ගිය වෙනස් ආකාරයේ චින්තන ශක්තියකට උරුමකම් කිව යුතුම ය. සෑම කාරණාවක් පිළබඳව ම පාහේ ධනාත්මක සිතුවිලි ඇති කරගනිමින් ප්‍රේමය සුව සේ විඳීම ඔබටත් මටත් මින් මතුවට සතුට පමණක්ම උරුම කරදෙන කාරණාවක් වේවි.

නයුමිකා අනුරාධිනි පිළියන්දල 
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය 

Saturday, April 6, 2019

අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය - International Telecommunication Unit (ITU)


අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය 1865 මැයි 17 දින පැරිසියේ දී ප්‍රංශ රජයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ටෙලිග්‍රාෆ් සංගමය නමින් ආරම්භ විය. 1934 දී අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය බවට පත්වී 1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

• අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය "විදුලි සංදේශ ලෝකයක් ගොඩනැගීම" සඳහා ගෝලීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් ප්‍රදර්ශන හ සංසද සංවිධානය කරමින් ආණ්ඩු නියෝජිතයන්, විදුලි සංදේශකයන්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයන් හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විශේෂඥයන් සමග විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැනුන හා තාක්ෂණ වෙනස් කිරීම කරනු ලබයි. ආණ්ඩුවල හා පෞද්ගලික අංශයන්හි ලෝක විදුලි සංදේශ සේවා ජාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ ගැටලු පිළිබඳව සැළකිල්ල යොමු කිරීම අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය ප්‍රධානතම වගකීම වේ. මෙයට අමතරව
• ගුවන් විදුලි තරංග සඳහා ගෝලීය අවකාශය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධීකරණය කිරීම
• චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ ආරෝපණය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම.
• සංවර්ධනය වන ලෝකයට අවශ්‍ය විදුලි සංදේශ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීම.
• ලොව පුරා භාවිතයට ගනු ලබන තාක්ෂණයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම හා සම්බන්ධීකරණය සඳහා උපකාර කිරීම.
මෙම කටයුතුවලට අමතරව ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමය විසින් පහත සඳහන් කෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් සපයනු ලබයි.
• බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා
• රැහැන් රහිත සන්නිවේදන තාක්ෂණයේ නවතම පරම්පරා හඳුන්වා දීම.
• ගගනගාමී සහ සමුද්‍රාශ්‍රිත යාත්‍රා සඳහා සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම.
• තාරකා විද්‍යාත්මක ගුවන් විදුලිය තරංග හඳුන්වා දීම.
• චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් කාලගුණ විද්‍යා තොරතුරු
• ස්ථාවර හා ජංගම දුරකතන සම්බන්ධ කිරීම.
• අන්තර්ජාල පහසුකම්
• දත්ත
• හඬ
• රුපවාහිනි ප්‍රචාරය
• අනාගත පරම්පරාවට අවශ්‍ය ජාන සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වේ.
අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්ථානගත කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධාන පවුලට අයත් සාමාජික ආයතනයකි. සංගමයේ සාමාජික රටවල් 193 ආහ ආශ්‍රිත සාමාජිකයන් 700 පමණ සමන්විත වේ. ආශ්‍රිත සාමාජික සංඛ්‍යාව 2000 දී 600 විය.

අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමයේ අංශයන්
1. ගුවන් විදුලි සංදේශනය
2. ප්‍රමිතිකරණ අංශය

සංවර්ධනය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය ස්ථාපිත කිරීමට උපකාරී වන උපකරණ, තිරසාර සහ ව්‍යාප්තිය උදෙසා කටයුතු කරයි. අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන ගෝලීය තොරතුරු සන්නිවේදන තාක්ෂණික ප්‍රදර්ශනය අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමය විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන තරගාවලියයි.

නෛතික රාමුව

අන්තර්ජාතික විදුලි සංදේශ සේවා සංගමයේ ව්‍යවස්ථාව ලෙස භාවිතයට ගනු ලබන්නේ 1865 දී පැවති තානාපති සමුළුවේ දී අන්තර්ජාතික ටෙලිග්‍රාෆ් සංගමය සඳහා අනුමත කරවාගත් ලේඛනයයි.

නායකත්වය
අධ්‍යක්ෂ ජනරාල් ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියා වේ. සංගමයේ තානාපති සමුළුවේ දී සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිත ඡන්දයෙන් වසර 4 සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබේ. 1969 සිට 1949 දක්වා අධ්‍යක්ෂවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අතර සියලුන අධ්‍යක්ෂවරුන් ස්විට්සර්ලන්ත ජාතිකයන් විය.

ආරම්භක අධ්‍යක්ෂ 1869-1872 ලයුෆ් කුර්චර්ච් (Louis Curchoch) ආයතනයේ ප්‍රතිව්‍යුහකරණයෙන් පසුව 1950-1953 අතර කාලය තුළ ප්‍රථම ලේකම් ජනරාල්වරයා ලෙස ප්‍රංශ ජාතික ලියෝන් මුල්ටර් (Leon Multar) කටයුතු කර ඇත. 2014 වන විට ලේකම් ජනරාල්වරු 9ක් මෙම ධුරයේ කටයුතු කර ඇත.

නයුමිකා අනුරාධිනි පිළියන්දල 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Friday, April 5, 2019

"රිදුම"

ජීවිතේ කවියක්
තනිකමත් ඔසුවක්
හීන දකින්න පණ පොවන
සොඳුරුතම වදනක්...
ආදරය හුස්මක්
දැනෙන එක හැඟුමක්
විටින් විට කකියනා
පණ තියෙන රිදුමක්...

නයුමිකා අනුරාධිනි පිළියන්දල
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්ව විද්‍යාලය