*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...***

Thursday, April 11, 2019

"ආදරය"


බැලූ බැල්මට කවුරුත් හඳුනන, කවුරුත් කතා කරන ජනප්‍රිය අකුරු හතරක්. වචනයක්. ආදරය කියන වචන අස්සේ මිනිස්සු එක්කෙනාගෙන් එක්කෙනාට විවිධාකාර දේ හොයනවා. පොඩි කාලේ අම්මා, අප්පච්චි, ඉස්කෝලේ යනකොට ගුරුවරු යාලුවෝ, තරුණ වයසට ආවාම පෙම්වතා/පෙම්වතිය, විවාහ වුණාම ස්වාමිපුරුෂයා /බිරිඳ, දරුවන්, මුණුබුරන් ආදී විදියට ජීවිතයේ එක් එක් ස්ථරවල දී අපි එක එක විදියට ආදරේ හොයනවා...

අද වෙනකොට ආදරෙන් ගොඩනැගෙන ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ තරුණ ප්‍රජාව අතරේ. පෘථග්ජන හිත් දුකට නොදැනම ආදරේ කරන බව කවුරුත් දන්නවා වුණාට ඒක හරියටම හරිම වෙලාවේ අඳුරගන්න ඔයාටවත් මටවත් බැහැ. තමන්ගේ පෙම්වතිය, පෙම්වතා ඉදිරියේ ආදරය අන්ධයි කියලා කතාවක් ගොඩනැගිලා තියෙන්නෙත් ඒ හින්දාම වෙන්න ඇති. කොහොම වුණත් හැමෝම කියන විදියට තරුණ කාලේ ආදරේ තමයි සුන්දරම ආදරේ. මේක ඇත්තක්ද? කිසිම දවසක සමාවක් හිමි නොවන සුන්දර වරදක් කියන ආදරේ ඇයි අද වෙනකොට බහුතරයකගේ අප්‍රසන්නම මාතෘකාව බවට පත් වුණේ?

අද සමාජයේ ගීත සංස්කෘතිය දිහා බැලුවත්, ටෙලිනාට්‍ය කලාව දිහා බැලුවත්, නවකතා කෙටිකතා කියෙව්වත්, කවියක් කියෙව්වත් නිතරම වගේ කියවෙන්නේ ගැහැනුන්ගේ බොළඳ, වංචනික ආදරේ හමුවේ පරාජයට පත් වන අහිංසක පිරිමි චරිත පිළිබඳවයි. 1%කටත් වඩා අඩු ප්‍රමාණයකින් ඊට විරුද්ධ දිශාව පිළිබඳ කියවෙන සාහිත්‍යාත්මකයැයි කියාගන්නා මෙවැනි නිර්මාණ, ආදරය අරුත්ගන්වන ආකාරය පිළිබඳව මේ වනවිටත් සමාජ කතිකාවතක් ඇති වෙලා හමාරයි. ඇත්තටම අද සමාජය තුළ ආදරය පිළිබඳ මූලික ගැටලු රාශියක් මතුවීමට මෙකී හේතුව ප්‍රබල මනෝවිද්‍යාත්මක කාරණාවක් බවට පත් වී ඇති බව ඔබත් මමත් අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමයි.



"පෙම්වතියන් මෙසේය", "පෙම්වතුන් මෙසේ ය" ආදී වශයෙන් මානුෂ චිත්ත ධාරාවන් තුළට තදින්ම කා වැදී ඇති මෙකී මනෝභාවයන්, ඉබේම පෙම්වතුන් අතර රෝපණය වීම හරහා ආදර කතාවන් නොසිතූ අන්දමින් අහේතුකව විනාශ වී යන අයුරු මෑත කාලීනව ප්‍රබල ලෙස දක්නට ලැබුණා.

අදාළ සාහිත්‍යාත්මකයැයි කියාගන්නා නිර්මාණ තුළ යොදාගනු ලබන රූපරාමු හා චරිතවල ස්වභාවයද, ශාරීරික හැඩයන්ද නොදැනුවත්වම තම පෙම්වතා හෝ පෙම්වතියගෙන්ද බලාපොරොත්තු වීම මෙහි අනෙක් පැතිකඩයි. සිහින් සිරුරක් සහිත, ඉතා පැහැපත්, සුදු පැහැති, ශෘංගාරී පෙම්වතියක්ද, හැඩිදැඩි සිරුරක් සහිත, Six packs සහිත, රැවුල වැවූ පෙම්වතෙක්ද එකිනෙකාගෙන් සොයා යාමට පෙළඹෙනවා.

සමාජය තුළ වෙනස්ම ආකාරයේ සිතුවිලි, හැඟීම් නිර්මාණය කරන මෙකී සාහිත්‍ය අතරේ සැබෑම කතාව, ව්‍යාජ ප්‍රේම කතා අතරේ වැළලී ගිහිල්ලා. උක්ත නිර්මාණ තුළ වුවත් සැබෑ කතාව ව්‍යංගයෙන් ඉදිරිපත් කළත් එය සමාජ කතිකාවත තුළ ද ව්‍යංගයක් බවට ම පත් වීම ශෝචනීයයි.

මුදල් මූලික වූ සංකීර්ණ සමාජ ක්‍රමය තුළ කෙල්ලෙක් පෙර මෙන් නොකා නොබී, ලුණුයි බතුයි කෑමට පෙම්වතෙක් හොයන්නෙ නැහැ. ඇයගේ පවුල් පරිසරය තුළ කිසිදු විටෙක ඇයට දුක් විඳින්නට සිදු වෙන විවාහයක් කරගැනීමට ඉඩ දෙන්නේද නැහැ. නමුත් එම කාරණාව වළලා කෙල්ලන්ගේ බොළඳ බව පමණක් ම ඉස්මතු කිරීම මෙම නිර්මාණයන්හි මූලික පරමාර්ථය වීම උගහට කරුණක්.




මින් එහාට ගිය ම් සැබෑ ආදර කතා කොතෙකුත් අපි අතර තිබුණත් ඍණාත්මකවම ප්‍රේමය දිහා බලමින් වියෝව විතරක්ම හදවත තුළ ස්ථාපනය කරන්නට මෙම වත්මන් ගීත සාහිත්‍ය ද, කාව්‍යම‍ය නිර්මාණද, ටෙලිනාට්‍ය කලාවද දරනු ලැබූ ප්‍රයත්නය සාර්ථක වී ඇත්තේ අපගේ ඍණාත්මක සාක්ෂරතාව නිසාම ය.

වෙසෙසින් ම තරුණ අපි මින් ඔබ්බට ගිය වෙනස් ආකාරයේ චින්තන ශක්තියකට උරුමකම් කිව යුතුම ය. සෑම කාරණාවක් පිළබඳව ම පාහේ ධනාත්මක සිතුවිලි ඇති කරගනිමින් ප්‍රේමය සුව සේ විඳීම ඔබටත් මටත් මින් මතුවට සතුට පමණක්ම උරුම කරදෙන කාරණාවක් වේවි.

නයුමිකා අනුරාධිනි පිළියන්දල 
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය 

No comments: