”නමෝ මරියනි
ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තයිනි
ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ය”
‘ආමේන්’
එවදන් ඇසූ කුමාරගේ මව පුපුරමින් සාලයේ එහා මෙහා ගියේ නොරිස්සුම් සහගතව ය.
”මම ටික දවසකට සූරියවැවේ යනවා.එහේ කුඹුරු වැඩ ටික බලාගන්න කවුරුත් නෑනේ' තාත්තාට ඕවා තනියෙන් බලාගන්නත් බෑනේ' අනික අර පොඩි එකාවත් තියාගෙන මල්ලිගේ නෝනාට ඒ වැඩ කරන්න අමාරුයි”
කුමාරගේ මව එවදන් පැවසුවේ කුමාරගේ අතට කහට කෝප්පය දිගු කරමිනි.
”අම්මාට පුළුවන් නම් තව සතියක් දෙකක් ඉන්න මේ ටික පිළිවෙළක් කරගන්නකම්.අනික ස්ටෙලාට මේ දේවල් තනියෙන් කරගන්නත් බෑනේ”
”උඹේ ගෑනි විතර ද ගෑනි අර පොඩි කොල්ලාගේ කෙල්ල ගැන එක ඩිංගිරිත්තක් බලන්න බැරි වුණා. පොඩි දරුවෙකුත් හදාගෙන ඒකි ඒ ගෙදර දහසුමේ කරනවා. ඒකිට කියලාත් මගෙන් වෙන්න ඕනි යුතුකම් ටික වෙන්න එපැයි.”
කුමාරගේ මව එවදන් පැවසුවේ දරාගත නොහැකි කෝපයෙන් බව තේරුම් ගත් කුමාර නිහඬ විය.
මවගේ නික්ම යෑමත් සමග කුමාර තම බිරිඳගේ වැඩකටයුතුවලට සහාය ලබා දෙන්නට සිතුව ද ගරාජයේ වැඩත් සමග කුමාරට ඒ සියල්ල මග හැරිණි.
”ළමයි දෙන්නාත් බලාගෙන මේ උයන පිහන වැඩයි ගෙදර වැඩයි ඔක්කෝම තනියම කරන්න මට බෑx පුළුවන් නම් අම්මාට කෝල් එකක් දීලා එන්න කියන්න.”
කුමාරගේ බිරිඳ ස්ටෙලා මවගේ නික්ම යෑමෙන් දින කිහිපයකට පසු පැවසුවේ කුමාර සමග නොමනාපයෙනි.
”මම අම්මාට කියන්න පුළුවන් හැම විදියකට ම කිව්වා. අනේ මන්දා. මම කියලා මොනා කරන්නද? පුළුවන් විදියකට වැඩ ටික කරගන්න ඉතින්. කොහොමත් කුඹුරු වැඩ ඉවර වෙනකන් අම්මා එන එකක් නෑ.”
එවදන් ඇසූ ස්ටෙලා පොඩි දරුවාද රැගෙන නැගිට ගියේ කෝපයෙන් යුතුව ය.
ස්ටෙලා කරකියා ගත හැකි දෙයක් නොමැතිව කල්පනාවට වැටුණා ය. ඇය පසුතැවුණේ ඉරිදා දිනවල තම ලොකු පුතාව පල්ලියට එක්කරගෙන යාමට නොහැකි වීම පිළිබඳව ය.
කුමාර තම මවට දුරකතන ඇමතුමක් ගත්තේ ස්ටෙලාගේ හීල්ලීමට ය.
”පාරේ යන්න බෑ මිනිස්සු කියන කතා. හරි හමන් ඇඳුමක් අඳින්නේ නෑ. ගමේ මිනිස්සු කියන කතා රෙද්දක් ඇඳගෙන අහන්න පුළුවන් ඒවා නෙවෙයි. එක්කෝ තමන්ට ගැළපෙන ගැනියෙක් ගන්න ඕනේ. නැත්නම් ගෑනිව තමන්ගේ හැටියට හදාගන්න ඕනේ. කොහෙද උඹ ගෑනි වෙලානේ ගෑනිට කලින්.”
කුමාර තුෂ්නිම්භූතව මවගේ වදන්වලට සවන් දුන්නේ කරකියාගත හැකි දෙයක් නොමැතිව ය.
තම මවගේත් බිරිඳගේත් මැද්දට කොටු වූ කුමාර කිසිවෙකුගෙන් හව්හරණක් නොලද පිපාසිතයෙකු මෙන් කල්පනාවේ නිමග්නව සිටියේ ය.
”ආතම්මා ආවා... ආතම්මා ආවා... ගමේ ගිහින් ආවා...”
දෙලොවක් අතර අතරමංව සිටි කුමාර පොඩි පුතුගේ වදන් ඇසුණු පමණින් ගරාජයෙන් පිටතට විත් ගේට්ටුව දෙස සිට පැමිණෙන තම මව දෙස බැලූවේ අපරිමිත සෙනෙහසකිනි.
”ආතම්මා මොනවාද ගෙනාවේ මට?” ලොකු පුතු විමසුවේ නිම් හිම් නැති සන්තෝසයෙනි.
”මං ලොකු පුතාට ගෙනාවා දහම් පාසල් ඇඳන් යන්න අලූත් සුට් එකක්. යමුකෝ බලන්න.”
”අම්මේ... ආතම්මා ඇවිල්ලා. මට දහම් පාසල් ඇඳන් යන්න අලූතින් සූට් එකකුත් අරන් ඇවිල්ලා.”
එවදන් ඇසූ ස්ටෙලා විශ්මයෙන් යුතුව බලා සිටියේ කුමක් කරම්දැයි තේරුම් ගැනීමට නොහැකි ව ය. ඇය කිසිසේත් තම දරුවා දහම් පාසල් යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් ඒ මොහොතේ ඇයට ඒ වෙනුවෙන් කතා කිරීමට අවස්ථාවක් උදා වුයේ ද නැත.
”අම්මි මේ බලන්නකෝ. හෙට මම අලූත් සූට් එකක් ඇඳලා දහම් පාසල් යනවා.”
සුදු පැහැගත් සරම සහ අත් දිග කමිසයෙන් සැරසී ඒ මේ අත සතුටින් ඉපිළී දුවන තම ලොකු පුතු දුටු ස්ටෙලාට වදනකුදු කතා කරන්නට ඉඩ නොතැබූ කුමාරගේ මව
”මම පුතාව හෙට දහම් පාසල් එක්කන් යන්නම්කෝ.” යි පවසමින් තම කාමරයට වැදුණා ය.
ස්ටෙලා කෝපයෙන් පසු වුණේ මේ ගැන කුමාරට ද පැවසීමට නොහැකි වූ නිසාවෙනි. කුමාර වුව ද මේ මොහොතේ ලොකු පුතු දහම් පාසැල් යැවීම අනුමත කරන්නේ යැයි ස්ටෙලා සිතුවා ය. කෙසේ වෙතත් ඇය තම උත්සාහය අතහැරියේ නැත.
පසු දා උදෑසන ම පල්ලියට යාමට සූදානම් වූ ස්ටෙලා
”ලොකු පුතා නැගිටින්න. අද පල්ලියේ උත්සවේ. ෆාදර් පුතාට එන්න කිව්වා මතකයි නේද? ඉක්මණට නැගිටලා ලෑස්ති වෙන්න. කෝ කෝ...”
”අනේ මට පල්ලි යන්න බෑ අම්මි. ආතම්මාත් එක්ක මම අද දහම් පාසල් යනවා.”
ලොකු පුතා පල්ලි යාමට අකමැත්තෙන් කියන මේ වදන් ඇසූ ස්ටෙලාගේ කෝපය ඇවිස්සුණි. නමුත් ඇය
”දහම් පාසල් අපි ලබන සතියේ යමු. මේ සතියේ පල්ලියේ පුජාවට යන්න ම ඕනි.” යැයි මැඩගත් කෝපයෙන් යුතු ව පැවසුවා ය.
”අනේ බෑ අම්මි. මම ආසයි දහම් පාසල් යන්න.”
එසැණින් කාමරයට වැදුණු කුමාරගේ මව
”හා. හරි හරි. මොකද මේ සද්දේ. මම කිව්වානේ මම අද පුතාව දහම් පාසල් එක්කන් යනවා කියලා. යමු අපි ලෑස්ති වෙමු.” යි පැවසුවාය.
”ඒත් අම්මේ අද පල්ලියේ පූජාව. අද ඒකට යන්න ම ඕනි.”
ස්ටෙලා පැවසුවේ වෙව්ලමිනි.
”මේ ළමයි පල්ලියේ පුජාවල් දැකලා නැතුවයැ. අනික දැන් මේ ළමයා ඉස්කෝලෙත් යනවා. කිසිම වුවමනාවක් තිබ්බේ නෑ දහම් පාසලකට දාන්න. මේ ළමයි මෙහෙම ගෙවල්වල ඉඳලා බෑ. පුතාට වුණත් කිසිම වුවමනාවක් නෑ. එහෙව් එකේ මමවත් මේ දේවල් කරන්න එපැයි.”
කුමාරගේ මව නෝක්කාඩු පවසමින් කාමරයෙන් පිටව ගියා ය.
ස්ටෙලාට දැනුණේ තමා තනි වී ඇති සෙයකි. දැන් කුමක් කළ ද කුමාරගේ මව නවතාගත නොහැකි බව දැනගත් ස්ටෙලා සයනය මතට වී කල්පනාවට වැටුණා ය.
”පල්ලියට අරන් ගිහිල්ලා ළමයා ආගමට හරවනකන් උඹ බලන් හිටියේ උඹට කොන්දක් පණ නැතුව ද? නැත්නම් උඹත් දැන් ආගමට බැඳිලා ද? ඊටත් පිරිමි ළමයි දෙන්නෙක්x ආගමෙන් ගෑනියෙක් ගත්තා මදිවට හදාගත්තු ළමයි දෙන්නාවත් ඒ ආගමට පූජා කළා. උඹ වෙස්සන්තර කියලා ද හිතන් ඉන්නේ. උඹේ අක්කලා මේවා දැනගත්තොත් මටත් විසුමක් වෙන එකක් නෑ. මෙව්වා බලන්නනේ අම්මපා මම ජීවත් වුණේ. ”
තම පොඩි පුතු භෞතීස්ම කළ දිනයේ ගත් ඡුායාරූපයක් දුටු දා තම මව කියූ දේවල් කුමාරගේ මනසේ දෝංකාර දෙන්නට වූයේ, තම ලොකු පුතු දහම් පාසැල් රැුගෙන යාමට සූදානම් කරගෙන මව තම අභිමුවට පැමිණි මොහොතේ ය.
”තාත්තාගෙන් අහන්න පුතු අද ලස්සනයි ද කියලා?”
කුමාරගේ මව එවදන් පැවසුවේ ආඩම්බරයෙනි.
”අම්මිටයි තාත්තිටයි වැඳලා එන්න මගේ පුතා.”
තමාටත් කුමාරටත් වැඳ ආතම්මා සමගින් දහම් පාසල් යන තම පුතු, ලීස්තර වැට අතරින් යාන්තමට මෙන් ස්ටෙලාට පෙනුණි.
ගේට්ටුවේ කුළුණු දෙකට මැදින් හිඳ කුමාර අනන්ත ආකාසය දෙස බලා දිගු හුස්මක් හෙළී ය.
* * *
නයුමිකා අනුරාධිනි පිළියන්දල
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්ව විද්‍යාලය
3 comments:
Cretive short story
lassana keti kathawak
Good job.👌👌
Post a Comment