*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...***

Tuesday, June 25, 2019

කොත්මලේ කතන්දරේ.



අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන සිංහල දීපයේ එක ම රහස් ආරක්ෂිත භූමිය ලෙස පුරාණයේ සිට ම පැවත එන්නකි කොත්මලේ. අදටත් පෞරාණික රහස් රාශියක් කරපින්නාගෙන ඉදිරියට ඇදෙන කොත්මලේ සිංහලය පෝෂණය කළ ජනශ්‍රැතීන් රාශියකට උරුමකම් කියයි. “කොත්මලේ” යන්නට විවිධ තැන්වල දී කොන්තමලේ, කොත්ථුමල, කොට්ඨමල සහ මලය රට ආදී වශයෙන් නම් කර තිබෙන අතර එදා සිට අද වන තුරු ම කොත්මලේ යන්නට ඒ නම ම යෙදී තිබූ බවයි ඒ අනුව සපථ වන්නේ. ජනප්‍රවාදවල සඳහන් වන පරිදි එක් දිනක් යකැදුරෙක් බෙරයක් ගෙන කොත්තුණු‍ගොඩ දෙසට යන විට රත්තරන් කොතක් පහළ වනු දැක ඇති අතර එම පුවත බෙර වයමින් ප්‍රසිද්ධ කිරීම, මෙම ප්‍රදේශය “කොත්මලේ” නමින් නම් දරන්නට හේතු වී තිබේ. ඒ අනුව කොතක් උපන් තැන “කොත්මලේ” යන්න ව්‍යවහාර වී ඇත.

ඇත්පල දා කව, මහනුවර යුගයේ ත්‍රිසිංහලේ කඩඉම් පොත, ගිරිතලා උන්නාන්සේගේ කඩඉම් පොත ආදියට අනුව කොත්මලේ හෙවත් මලය රට අයත් වන්නේ රුහුණු රටටයි. නමුත් කලින් කල දේශ සීමා වෙනස් වනවාත් සමග ම මෙය විවිධ ප්‍රදේශයන්ට අයත් වී තිබේ. කෙසේ වෙතත් දුටුගැමුණු කුමාරයාගේ කතා පුවතට අනුව අදටත් පිළිගත හැකි මතය වන්නේ කොත්මලේ රුහුණු රටට අයත් බවයි.

මෙම ප්‍රදේශයේ ඉතිහාසය දෙසට අවධානය යොමු කිරීමේ දී ලංකාවේ සිදු වූ ඓතිහාසික වැදගත්කමක් සහිත සැම අවස්ථාවක ම පාහේ කොත්මලේ ඒ හා සම්බන්ධ වී ඇති බවට සාක්ෂි හමු වේ. පළමුවැන්න ලෙස පෞරාණික ම ජනප්‍රවාදයක් වන රාවණා කතා පුවතේ දී ඔහුගේ පාලන තන්ත්‍රය කොත්මලේ හා තදින් බැඳී පැවතීම පෙන්වා දිය හැකි ය. ඔහු සීතා ගෙනැවිත් මේ ප්‍රදේශයේ සැඟවීමට හේතු වූයේ ඉන්දියාවේ අශෝක වනයට සමාන දේශගුණික තත්ත්වයක් මෙහි තිබීමයි. අද “කොණ්ඩගල” නමින් ප්‍රසිද්ධ ස්ථානය එනමින් නම් වී ඇත්තේ සීතා එහි දී තම හිස පීරූ නිසා බව ජනප්‍රවාදවල කියැවෙන්නකි. අදටත් රාවණා විසින් සීතාට සැපයූ සීතා ගුලි දක්නට ලැබෙන අතර ඒවා බඩේ අමාරු සඳහා යොදාගනු ලබන බව ගම්මු පවසති. තව ද රාවණාගේ පාලන කාලය තුළ සෑදූ උමං ර්මගයක් මෑත කාලයේ මහනුවර - නුවරඑළියේ ප්‍රධාන මාර්ගයේ කොණ්ඩගලත් වෙදමුල්ලත් අතර ප්‍රදේශයේ දී හමු විය. රාවණා ද කොත්මලේ ඇති රහස්‍ය භාවය පිළිබඳව මනාව අවබෝධ කරගෙන සිටි බව ඉන් මනාව පැහැදිලි වේ.

“කොත්මලයේ බෙරමානේ නුවරඑළියේ වැද්දානෝත්
පස්බාගේ කෙහෙල්ගමුව කළුගලයේ වැද්දානෝත්....”

දඹදෙණි අස්නේ සඳහන් වන ආකාරයට කොත්මලයේ වැද්දන් සිටි බවට කරුණු ප්‍රත්‍යක්ෂ වේ. ඒ අනුව රාවණාට පසු කොත්මලේ පිළිබඳ සඳහනක් හමු වන්නේ විජය - කුවේණි කතා පුවතේ දී ය. කුවේණිට තම වර්ගයාගෙන් දඬුවම් ලැබුණු පසු ජීවහත්ත හා දිසාලා යන ඇයගේ දරු දෙදෙනා පලා යන්නේ මලය රටට ය. ලංකාවේ වැදි පරපුර මෙන් ම යක්ෂ ගෝත්‍රය ආරම්භ වන්නේ ද ඔවුන් දෙදෙනාගෙන් බව මතයක් පවතී. පුසුල්පිටි විහාරයේ වැඩ විසු අධිබලැති හිමිනමකට උපස්ථායකයන් වශයෙන් යක්ෂ ගෝත්‍රිකයන් සිට ඇති අතර ඔවුන් විසින් කරවූ “යකුන් බැඳි බැම්ම” අදටත් මේ ප්‍රදේශයේ දක්නට ලැබේ. කොත්මලේ ඇති යක්ගල, යකිනිගල ආදී ග්‍රාමනාමවලින්ය ක්ෂ ගෝත්‍රික කතාවේ සත්‍යතාවක් ඇති බවට තහවුරු වේ.

තෙවැන්න වන්නේ දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ රාජ්‍ය පාලනය කරන සමයේ දී සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ වැඩමවූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගත් දෙතිස් පල රුක් බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරයේ ස්ථාපිත කිරීමයි. ඉන් පසක් වන්නේ එකල ද කොත්මලේට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ බවයි.

කොත්මලේ සම්බන්ධ වැදගත් ම සිද්ධිය ලෙස අදටත් අප සළකන්නේ දුටුගැමුණු කුමාරයාගේ කොත්මල් සම්ප්‍රාප්තියයි. තමාට එළාර රජු සමඟ සටන් කිරීමට පිය රජතුමා අවසර නොදීම කරණ කොටගෙන, දුටුගැමුණු කුමාරයා පිය රජතුමාට ස්ත්‍රී පළඳනා යැවීම හේතුවෙන්, කාවන්තිස්ස පිය රජු කුමරු අල්ලා සිර කර තැබීමට නියෝග කිරීම නිසා කුමරු මව් රැජිණගේ උපකාර ඇතිව කොත්මලයට පලා ගොස් වසර 12ක් ගත කර තිබේ.
 “ඉර දිගට පැල් විස්සක් කොත්මලයට පලා යව” යනුවෙන් විහාර මහා දේවිය ලබා දුන් උපදෙස් අනුව කොත්මලේ එවකට ගම් විස්සක් තිබුණු බවට කරුණු පැහැදිලි වේ. කඳුකරයට පලා ආ කුමාරයා කොටකේපිටියේ ඌරුපැලැස්සේ ගම ගෙදර “ගුත්තා” නමින් සිට ඇති අතර පසුව ගමරාළ ඔහුට “හිද්දළයා”(දැඩි හිතක් ඇත්තා) යනුවෙන් නම් තබා ඇත.

ගමගෙදර ගවයන් රැක බලා ගනිමින්, කුඹුරු අස් වද්දමින් හිද්දළයා ජීවත් වී ඇත. ගැමුණු කුමරු ගවයන් රැක බලාගත් ස්ථාන “පට්ටිතැන්න, වඳවල, වට්ටම්බර” නමින් ද ගවයන් ගාල් කළ ස්ථානය “ගෙදරලියද්ද” නමින් ද ව්‍යවහාර වේ. ගුත්තා අස්වැද්දූ කුඹුර “ගෙදර ලියද්ද” වන අතර එය අක්කර 14ක් විශාලය. කුඹුරු අස්වැද්දීමට ගුත්තා සැතපුම් තුනක් පමණ දිගට “රජ ඇළ” නමින් ඇළක් කරවා ඇති අතර ගැමුණු කුමරු කුඹුරු අස්වැද්දීමත් සමග ගමගෙදර වීවලින් පිරී යාම හේතුවෙන් එය “වීසුරුගෙදර” යනුවෙන් නම් කර ඇත. අද වන විට එය “වීරසූරිය” පරම්පරාව ලෙස නම් දරයි.

කුමරු නාගහපිහිල්ල, රණමුණේ පිහිල්ල සහ අඹගහපිහිල්ල යන පිහිලිවලින් දිය නෑ අතර, ‘මොණරාගල කන්ද’ ගැමුණු කුමරු බොහෝ විට කාලය ගත කළ ස්ථානයක් විය. වීසුරුගෙදර සිටි ‘රන්මැණිකා’ තම පෙම්වතිය කරගත් ගැමුණු කුමරු පසු කාලීනව ඇයව විවාහ කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනාට දාව ඉපදුණු පුත් කුමාරයා සාලිරාජ කුමාරයා වේ.

දුටුගැමුණු රජුට යුද්ධයට යාම සඳහා අවි ආයුධ තනා ඇත්තේ නව කර්මාන්ත ඇති කළ ගම හෙවත් “නවම්ගම” නම් ගමෙහි ය. අතීතයේ කොත්මලේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති අතර ඉන් ලාවා ගලා ගිය දිශාවට ලෝහ කර්මාන්තයේ නිරත වූවන් ගෙනවිත් අවි ආයුධ තැනීම ආරම්භ කර ඇති බව විද්වතුන් පවසති. අදටත් එම ගමෙහි මෙම කර්මාන්තය පවතී.

මෙලෙස විමසා බලන කල කොත්මලය වූ කලී එදා සිට අද වන තුරු ම ලාංකේය වංශකතාවේ සෑම වැදගත් සන්ධිස්ථානයක දී ම ඒ හා සම්බන්ධ වු ප්‍රදේශයකි. කොත්මලේ ජනශ්‍රැති අධ්‍යයනය කිරීමේ දී එය ඉතා වැදගත් කරුණකි. පුරාණයේ සිට ම මලය රට රහස් ආරක්ෂිත භූමියක් බවට නිගමනය කිරීමට ඕනෑ තරම් සාධක හමු වේ. කඩදොර, නියම්ගම්දොර, කඩදොර පිටිය හා දොරගල යන නම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ මේ භූමියේ ආරක්ෂාව සඳහා රැකවලුන් සහිතව තැනූ ආරක්ෂිත දොරටු බව ය. ලංකාවේ මුල් ම ජනාවාස බිහි වූ කාලයේ ම කොත්මලේ ද ජනාවාස බිහි වී තිබුණ ද මේ ප්‍රදේශයේ අන් ප්‍රදේශයන්හි මෙන් සෙල්ලිපි, ගල් පුවරු ආදිය දක්නට නොලැබීමෙන් පෙනී යන්නේ සැඟවිය යුතු භූමියක් බැවින් එවැනි දේ ස්ථාපිත කර නොමැති බවයි. කොත්මලේ වූ කලී කඳුවලින් වට වී ඇති ළඟා වීමට අපහසු භූමියකි. එසේ ම මහනුවර යුගයේ දී කොත්මලේට ඇතුළු විය හැකි වූයේ රජුගෙන් අවසර ලද අයට පමණි. ආවාහ විවාහ පමණක් නොව හරකුන් දක්කාගෙන යාමත් තහනම් විය. මහියංගණ මහ සෑයේ රන් කොත ඇතුළු ස්ථුප 16ක කොත් කඩදොර නිධන්කෙටි ඇල්ලේ තැන්පත් කර ඇති බව නිධන් වදුළේ ද සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ කොත්මලේ පැවති ආරක්ෂිත බවයි.

පුසුල්පිටිය, කඩදොරපිටිය, කලපිටිය, කොටකේපිටිය, ඇටම්පිටිය, අංකෙළිපිටිය ආදී වශයෙන් කොත්මලේ අට පිටියක් පවතී. ඉන් පැහැදිලි වන්නේ ඒ ඒ ක්‍රියාවන් සඳහා පිට්ටනි පැවති බවයි. එසේ ම මල්දෙණිය, දුනුකේදෙණිය ආදී වශයෙන් දෙණි ද පවතී. කොත්මලේ ජනතාව යක්ෂ ගෝත්‍රිකයන් වූ නිසාවෙන් මේ ප්‍රදේශයේ යකුන් පිදීම, මළවුන් පිදීම, ගෙවළ යකුන් පිදීම, වලියකුං පිදීම වැනි දේත් යක්කම්, තොවිල්පලවල්, හදි හුනියම් ආදියත් බහුලව පැවතිණි. අදටත් කොත්මල්වාසීහූ ඒවායේ නිරත වන ආකාරය විටින් විට දැකගන්නට හැකි වන අතර මේවා සිදු කිරීම සඳහා යක් දෙස්සෝ යනුවෙන් වෙනම කපු පරපුරක් සිට ඇත. වීරමුණ්ඩ දේවාලය, මොරපේ කතරගම දේවාලය, මැද්දේගොඩ පත්තිනි දේවාලය, නියම්ගම්දොර පත්තිනි දේවාලය, කඩදොර පත්තිනි දේවාලය හා කෙහෙල්ගමුවේ දේවාලය ආදී දේවාලවලින් ජනතාවට අවශ්‍ය යාතුර්කම සිදු කර ඇති අතර විශේෂයෙන් ම කෙහෙල්ගමුවේ දේවාලයේ පන්ගොල්ල ගෙදර, කපුගෙදර, උක්දඬුකොටුව, කොහොල්දෙණිය හා කපුහෙන්නායක යනුවෙන් පරම්පරා පහක් ද රාජකාරීවල නිරත වී තිබේ. කොත්මලේ පිහිටි බෙරමාන, කිකිළියමාන, නයාපාන ආදී ග්‍රාමනාමවල තේරුම විමසා බලන කල බෙරය, කිකිළි, නයා යන සියල්ලක් ම යාතුර්කම, ශාන්තිර්කම ආදියේ දී යොදාගන්නා ලද සංකේත බව පසක් වේ.

මලය රට ආශ්‍රිත වෙදකම දෙසට අවධානය යොමු කිරීමේ දී ලෙඩ රෝගවලට දෙවියන්ට භාරවීමත්, කැලෑකොළ පොතු ඔාෂධවලට යෙදීම, නූල් බැඳීම, තෙල් සාත්තුව, ඇපනූල් බැඳීම වැනි පරම්පරාගත වෙදකම්වලටත් මොවුහු යොමු වී සිටියහ. එසේ ම ඒ සඳහා යාතුර්කමවලට යොමු වීම ර්වතමානයේ ද ප්‍රබල ලෙස දක්නට ලැබේ. බෝ වන රෝග පැතිරීම වැළැක්වීම සඳහා “ගම්මඩු” පැවැත්වීම මොවුන්ගේ සිරිතකි. ගමේ නිතර ම පාහේ බලි, තොවිල් දක්නට ලැබෙන අතර පිරිතක් කියන විට ද යකෙකු ආවේෂ වීම සුලබ ලෙස දක්නට ලැබිණි. මිනියක් බැලීමට වුව ද බොහෝ විට යන්නේ පිරිමි පමණකි. ගැහැණු මිනිය බැලීමට දවල් කාලයේ දී ගිය ද රාත්‍රී කාලයේ කෙසේවත් නොයනවා සේ ම සොහොනට යන්නේ ද නැත.

ඉපැරණි කොත්මලේ දේවගේ වරිගය, රජ්ජම වරිගය, ඕලිගෙ වරිගය සහ බමුනේන්ද්‍ර වරිගය යනුවෙන් වරිග හතරක් සිට ඇති අතර කොත්මලේ භූමිය ජන්ම භූමිය කරගත් ඕනෑම කෙනෙක් මින් එක් වරිගයකට අනිවාර්යයෙන් අයිති වූ බව ජනප්‍රවාදවල සඳහන් වේ.

ජනශ්‍රැති පිළිබඳව සඳහන් කිරීමේ දී ගොවිතැන පිළිබඳ අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් කරුණකි. මලය රටේ එදා පටන් ම පැවතුණේ වී ගොවිතැන සහ කුළු බඩු වගාවයි. වී ගොවිතැන දෙස බැලීමේ දී මේවායේ ඉතා කුඩා කුඹුරු කොටස් දක්නට ලැබෙන අතර කුඹුරු කිහිපයකට ම තිබුණේ එක් කමතකි. කමත් ලියද්ද මෙහි දක්නට ලැබෙන සුවිශේෂී අංගයකි. අද වන විට ද මේ ප්‍රදේශයේ අත්තම් ක්‍රමය දක්නට ලැබෙන අතර ආර්ථික අපහසුතා මැද වී ගොවිතැන අතැර දමා ඇති බැවින් ඒ ආශ්‍රිත ජනශ්‍රැති දක්නට ලැබෙන්නේ මද වශයෙනි.

කිතුල් මල් කර්මාන්තය කොත්මලේ දක්නට ලැබෙන ප්‍රධාන කර්මාන්තයකි. ඒ ආශ්‍රිතව කිතුල් මල් ඉරීම, මල් වෙලීම, මල් කැපීම, බෙහෙත්තැ බීම ආදියට ආවේණික වූ චාරිත්‍ර අදටත් දක්නට ලැබේ. ඒවා නැකතකට අනුව සිදු කරනු ලබන අතර ඒ හා නිර්මාණය වූ ජන කවි ද දක්නට ලැබේ.

රාත්‍රී කාලයේ දඩකෙළියේ යාම ද කොත්මලේ ප්‍රදේශවාසීන්ගේ විනෝදාංශයකි. ගඟට දැල් එළීම මෙන් ම කැලෑවැදීමෙන් ද ඔවුන් දඩ මස් රැස් කරති. මුලින් ම අසුවන සතාගේ බඩවැල් පළා යකුන්ට පිදීම, මුලින් ම හසුවන මාලුවා පුද දී නැවත දැල් ගැසීම ආදියෙන් වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වූ අතර තමාගේ දඩයම අසල්වාසීන්ට කොටස් කර දීම ද ඔවුනගේ සිරිතකි. එසේ ම ගෙවතු රැකගැනීම සඳහා ගල් වැටි හා වැට ඉනි බැඳ තිබූ අතර කඩුල්ල ළඟ උගුලක් බැඳ තැබීම නිසා මෙම ප්‍රදේශවාසීන්ට දඩමස්වල හිඟයක් නොවීය.

බඹර කැපීම ද මොවුන්ගේ විශේෂ විනෝදාංශයකි. බඹර කැපීම සඳහා මොවුන් වෙන වෙන ම කණ්ඩායම්වලට බෙදී ගමන් කරන අතර කැලේ දී එකිනකා මුණ ගැසුණත් කතා නොකරන්නේ එකිනෙකාට හොරෙන්ම  බඹර හොයන නිසාවෙනි. “බඹර කැලේ දී නෑකම් නැත්තේයා” යනුවෙන් බඹර කවිවල ද සඳහන් වන්නේ එබැවිනි.

“මේසමඩුව” හෙවත් දොළහ දෙවියන් පිදීම ද මගින් සෑම ගව පට්ටියකට ම ආශිර්වාද කරනු ලබන අතර ගම්මුන්ගේ ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන “අංකෙළිය” මංගල්‍යය ගම දෙපිළකට බෙදී පත්තිනි දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ශක්තිය මැනීමේ ක්‍රීඩාවකි. “මී හරක් පොර” පැවැත්වීම ද මොවුන්ගේ විනෝදාංශයක් වන අතර මී ගවයින් තම සම්පත ලෙස සළකන කොත්මල් වැසියෝ ගොයම් කපා අවසන් වූ පසු තෝරාගත් දිනයක විනෝදාංශයක් ලෙස මෙම ක්‍රීඩාව සිදු කරනු ලබයි.

කොත්මලේ පවතින ජනප්‍රවාද අතර ‘පොන්න නැකැත්තා’ ඉතා වැදගත් වේ. මොහු රාජාධි රාජසිංහ රජුගේ රජසභා කවිකාර මඩුවේ සිටි දක්ෂ කවියෙකි. තිස්පනේ කන්ද සහ කඩදොර කන්ද යා වී කොත්මලේ ඔයේ ජලය අග්ගහකැලේ දෙසට හැරී ගලනු ඇතැයි ඔහු කී අනාවැකිය අද වන විට කොත්මලේ ජලාශය ඉදිවීමත් සමග සත්‍යයක් බවට පත් වී ඇත. අදටත් ජලාශයට යට වූ කඩෙදාර පුරාණ විහාරය ජලාශය සිඳී යාමේ දී දක්නට පුළුවන. රජවාසලට ලැබුණු විශාල දියලබු ගෙඩියක තිබූ ඇට ගණන නිවැරදිව ප්‍රකාශ කිරීම නිසා මොහු රාජ උදහසට ද ලක් වී ඇත.

අව්‍යාජ ගැමි සුවඳ වහනය වූ කොත්මලේ ගැමි බස්වහර අද වන විට මැකී යමින් පැවතුණ ද පැරණි ගැමියන්ගේ භාවිතයෙන් ගිලිහී ගොස් නොමැත. අම්මණ්ඩී (මාමා), කටකමසෙයියාවක් (කටට නිවාඩුවක් නොමැතිව), හේරුව (මතකය), අච්චරිය (ආශ්ර්චය),අවච්චාදිය (කරදරය) කොත්මලේ භාවිත භාෂා ශෛලියට අයත් වචන කිහිපයකි.

ආචාර්ය පණ්ඩිත කොත්මලේ කේ.බී.ඒ.එඩ්මන්ඩ් මහතා පවසන්නේ මේ රමණීය භූමි භාගයේ සංස්කෘතික ඉතිහාසය තරම් සමෘද්ධිමත් නොවුව ද එහි සාහිත්‍ය ඉතිහාසය ද යම් පමණකින් පොහොසත් බවයි. කොත්මලේ ප්‍රදේශයට ආවේණික වු ජනකවි විවිධ ක්ෂේත්‍රයන් යටතේ වර්ග කළ හැකි ය. ගැමුණු කුමරු වටා ගෙතුණු කවි, ගම්-බිම් හා ජනතාව වටා ගෙතුණු කවි, කැකුණ මලේ කවි, සිරිපා වන්දනා කවි, සෙනෙහසට කියූ කවි, දිය ඇළි වටා ගෙතුණු කවි, නෙළුම් කවි, තලමලේ කවි, අංකෙළියේ කවි, ලෝකුරු නයිදෙගේ කවි, කොත්මලේ ගණිතයාගේ කවි හා මන්දාරම්පුර පුවතේ කවි ආදී ලෙස එම ජනකවි ර්වග කළ හැකි ය.

කොත්මලේ වූ කලී පුරාණයේ සිට ම සංචාරක පුරවරයකි. සිරිපාදේ ගමන් කරන උදවියට හමු වන අවසන් ගම්මානය වූයේ කොත්මලේ ය. ඔවුන් බුදු පුදට රැගෙන එන්නේ පුවක් මල් ය. ඒ පර නොවන බැවිනි. අවසානයේ සිරිපාදය පෙනි පෙනී පුවක් මල් පුදන්නේ පනම්ගම්මන විහාරයට ය. එය “පුවක් මල් පිදූගොඩ විහාරය” ලෙසින් නම් කෙරුණි. කොත්මලේට ම ආවේණික සිරිපා වන්දනා කවි නිර්මාණය වන්න් මේ ආශ්‍රයෙනි.

“ගොසින් ගොසින් ගොඩිගමුවේ හෙළේයා - පසුකරන්ඩ බැරි විල්කඩ කැලේයා
ඇවිත් පැන්නාම රම්බොඩ ඔයේයා - බලා ඉන්ට රිසි වුණි කොත්මලේයා”
යනුවෙන් සංචාරකයෙක් කී කවියෙන් කොත්මලේ සංචාරක පුරවරය හා එහි ඇති ස්වභාව සෞන්දර්ය වටිනාකම පිළිබඳ මැනවින් පැහැදිලි වේ.

වැදගත් ම කරුණ වන්නේ කොත්මලේ දිසාවට අයත් කොඩියක් මෑත කාලීනව හමු වීමයි. එහි මල් හතළිස් එකක් දක්නට ලැබෙන අතර විද්වතුන් සඳහන් කරන්නේ ඇත්පල දා කවට අනුව රුහුණු රටට අයත් රටවල් හතළිස් එක ඉන් සංකේතවත් කරන බවයි.

කෙසේ වෙතත් එදා කොත්මලේ ආරක්ෂිත තත්ත්වයක් නොතිබෙන්නට අද ලංකාවේ තත්ත්වය මීට හාත්පසින් ම වෙනස් වීමට ඉඩ තිබිණි. කෙටි ඉඩ කඩකින් කිව නොහැකි තරමේ කතන්දර රාශියක් කොත්මලේ සතු ය. ලාංකේය අභිමානවත් අනන්‍යතාවය තවමත් කොත්මලේ තුළ සැඟව ඇති බව කීම උගහට කරුණක් නොවිය යුුතු ය.

සටහන - අනුරාධිනී පිළියන්දල

Friday, June 21, 2019

වීදුරු හාදුව

වීදුරු තහඩුවකින් ළාවට වගේ එබිලා...
ඔය දෙතොල් මත දෙතොල් තියලා...
මම අදටත් ඔබේ උණුහුම හොයනවා...

මුළු ඇඟම වෙව්ලද්දි...
හිමින් සැරේ එ දෙතොල් මතින්...
මම ඒ පහස විඳිනවා...

ඒ කිතියත් එක්ක...
හිත හිරිවැටිලා ලැජ්ජාවෙන් ඇඹරෙද්දි...

අනේ ඔබේ උණුහුම ඇත්තටම මට දැනෙනවා...

මොහොතින්...

අනේ ඔබ මගෙන් දුර බව...
මට සිහි වෙනවා...