*** එන්න, හීතල හිරිපොදේ මිහිරියාව විඳින්න, මන්දාරමට... අනෝරා වැස්සකට පෙර ජිවිතය දකින්න...***

Sunday, April 19, 2020

ජීවිතේ හොයමු...

ජීවිතේ කියන්නේ හරි පුදුම තැනක්. ජීවිතේ එක එක තැන්වල දී එක එක දේවල් අපිට හිතෙනවා. උපන් දවසේ ඉඳන් අපි ලෝකය දකින්න අඳුනගන්න කොච්චර උත්සාහ කරනවාද? මිනිස්සු අඳුරගන්න, අලුත් අලුත් දේ ඉගෙනගන්න, හොයාගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ පොත්වල තියෙන දේවල් ඉගෙනගන්න කොච්චර මහන්සි වුණාද?

ඒත් අපි අපිව අඳුනගන්න, අපිව තේරුම්ගන්න, අපිව දකින්න උත්සාහ කරනවාද? දවසින් එක විනාඩියක් හරි ඒ වෙනුවෙන් වෙන් කරනවාද? නැත්තේමත් නෑ නේද? හැබැයි ගොඩාක් දුරට අඩුයි.  ඒත් වෙන්න ම ඕනි දේත් ඒක. අපි අපිව අඳුනගන්න එක. අපේ ඕනෑ එපාකම් අඳුනගන්න එක. අපේ ආසාවන්, හැඟීම්, හැකියාවන් අඳුනගන්න එක.

මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් උපරිමේත් සීමාවක් එනවා ඕනි ම දේක දී. එතන දී අපිට පුංචි විරාමයක් ගන්න වෙනවා. ගන්න ඕනි. එහෙම නැත්නම් ඒ pressure එක අපිට දරාගන්න අමාරුයි. අපි පොඩි විවේකයක් ගන්න තැන අපිව refresh වෙනවා. එපා වෙච්ච ජීවිතේ ආයෙත් හදාගන්න අපිට ideas එන්නේ අන්න එහෙම පොඩි විවේකයක් ගත්තාම. ඔයාත් වැඩ කරලා කරලා මහන්සී වුණු තැන දෙපාරක් නොහිතා දවස් දෙක තුනක පොඩි විවේකයක් ගන්න. නිදහසේ වටපිටාව බලන්න. නිදහසේ නාගන්න. මුකුත් ම නොකර ඔහේ ඉන්න. අන්න එහෙම ඉන්නකොට ඔයාට ඔයා ගැන කල්පනා වෙනවා. අන්න එතන දි ඔයාට ඔයාව හම්බවෙනවා. සම්පූර්ණයෙන් ම නෙමෙයි. පොඩ්ඩක්...

එහෙම ඉන්නකොට ඔයාට හැමදේම අමතක වෙලා ඔයා වෙනුවෙන් ඔයාට මහන්සි වෙන්න ඕනි වෙනවා. මහන්සි වෙන්න හිතෙනවා. එක එක ideas එනවා. අන්න එතකොට  ඒවා කරන්න අමුතු ශක්තියක් කැමැත්තක් තමන්ගේ හිතෙන් ම නිර්මාණය වෙනවා. ඒ ශක්තිය හැම ශක්තියකට ම වැඩිය බලවත්. අපි ආදරේ කරන අය වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි කියලා හිතන තැනට වැඩිය බලවත් වෙන්න පුළුවන් මං මේ කියන හැඟීම. ඒක අත්දැකීමක්... අත්විඳීමක්...

තමන්ගේ ජීවිතේ හඳුනගන්න පුළුවන් තමන්ටමයි. ඒ අයිතිය තියෙන්නේත් තමන්ටමයි. ඔයා කැමති දේවල් කරලා මේ ජීවිතේ විඳින්න ඕනි. ඒ හැමදේකින් ම මතක ඉතුරු කරගන්න ඕනි. ඒක තමයි ජීවිතේ විඳිනවා කියලා කියන්නේ. දවසක, අපි ජීවිතේ පුරාවට තත්පරයක් තත්පරයක් පාසා ඉගෙන ගන්න පුංචි දේත් ඕනි වෙනවා. එක ම රාමුවකට කොටු වුණු අයට ඒ විඳීමවත්, අත්දැකීමවත් හිමි වෙන්නේ නෑ.

ඒ හින්දා, තනි වෙලා බලපන්. මේ ලෝකේ දිහා ඇස් ඇරලා බලපන්. ලෝකේ වටේ නැතත් තමන්ගේ ගම වටේ ඇවිදලා බලපන්. KFC, Pizza Hut යන අතරේ ගහක් යට පොල් අත්තෙන් වට කරපු පුංචි තේ කඩේක කහට කෝප්පයක් බීලා බලපන්. පාරේ අයිනේ විකුණන තැඹිලි ගෙඩියක් බීලා බලපන්. අහු වෙන අහු වෙන පොත පත්තරේ කියවපන්. මිනිස්සුන්ගේ ජීවිත දිහා ටිකක් බලන් ඉඳපන්. මේ හැමදේ ම විඳපන්. ඒ අස්සේ පොඩි දවසකට තමන්ගේ ජීවිතේට විරාමයක් දීපන්. තමන්ව හොයපන්. අන්න එදාට උඹට මුළු ලෝකේ ම දිනන්න පුළුවන් ශක්තියක් ඒවි. ඒක දැනුනු දවසට උඹ උඹ වෙනුවෙන් වැඩ කරලා ජය ගනින්.

උඹට ජය...