යුද්ධයේ ගිනි ජාලාවන් අහස් කුස සිපගත් රුදුරු කාලයේ උතුරේ ජනතාවගේ දුක් අඳෝනාවන් කැටි කරගත්දු ක් ගින්නේ රුදුරු ශබ්ද, මන්නාරමේ මඩු පල්ලිය දක්වා ම විහිද ගිය බව රචකයා පවසයි. සරෝජා නමින් ඔහු ආමන්ත‍්‍රණය කරනු ලැබ ඇත්තේ හුදෙක් උතුරේ ජීවත් වූ සිංහල මෙන් ම දෙමළ දරුවන් ය. මහ පොළොව පලාගෙන ගුවන දෙවනත් කරගෙන එන වෙඩි හඬ මැද්දේ එකී අහිංසක දරුවන් බියේ ගුලි ගැහී සිටින බව මහින්දයන් පවසන්නේ ගුරුවරයෙක් ලෙස ඔහුට ද මෙකී රුදුරු ත‍්‍රස්තවාදය හමුවේ මෙම ගැටළුවට පිළිතුරක් නොවූ බැවිනි.
සරෝජා යනුවෙන් මොහු ආමන්ත‍්‍රණය කරන්නේ යුද්ධය හේතුවෙන් අසරණ වු සමස්ත දරු පරපුරට ය. වසර ගණනාවක් තිස්සේ පැවති මෙම ත‍්‍රස්තවාදී කළකෝළාහාල මැද්දේ මිරිකී සිටි අහිංසක දරුවනුත් වැඩිහිටියනුත් එක ම සමාජ තලයක සිටි මිනිසුන් ය. ‘දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගේ දෝණියේ’ යනුවෙන් ඔහු පවසන්නේ මෙකී ත‍්‍රස්තවාදය හමුවේ අසරණව සිටි දරුවන්ගේ දෑස් අග රැඳි කඳුළු, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ට ඇති ප‍්‍රශ්න, ගැටළු සමාජය හමුවේ සැඟවී ඇති බවයි. සමාජය පිටතින් දකිනවාට වඩා මේ තුළ ගැඹුරු සමාජ ප‍්‍රශ්නයක් පවතින බව මුලදී ම ඔහු පෙන්වා දෙයි.
‘ගුරුතුමී මා සිසුවියයි නුඹ
එත් අපි එක පන්තියේ’
යනුවෙන් මහින්දයන් අදහස් කරන්නේ එකී සමාන සමාජ මට්ටමක සිට යුද්ධයේ පීඩාවන්ගෙන් බැට කන අහිංසක ජනතාව පිළිබඳව ය.
යුද්ධය හමුවේ ඊට මුහුණ දුන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වූ බව ව්‍යංගයෙන් ඔහු දක්වන්නේ ‘වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි’ යනුවෙනි. රුදුරු ත‍්‍රස්තවාදී අරගලය හේතුවෙන් ලංකාවේ අහිංසක දුප්පත් ජනතාවගේ ජීවිත කෙතරම් ප‍්‍රමාණයක් නම් විනාශ වන්නට ඇති ද? වෙඩි උණ්ඩයෙන් විනාශ වූ ඒ අහිංසක ජීවිත නැවත ලබාගන්නට හැකි ද? මහින්දයන් වක‍්‍රකාරව මෙකී පැනය සමාජය වෙතට යොමු කරයි. එකට හිඳ සෙල්ලම් බත් උයමින් තම ළමා කාලය අපූරුවට විඳිමින් සිටි පුංචි මල් කැකුළු ත‍්‍රස්ත වෙඩි උණ්ඩවල ද්‍රෝහීකමට ලක් ව මිලින විය.
‘කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්’
කිසිදු තෙතමනයක් නොමැති වූ කෲර සමාජයේ වැරදිවලට පින් සිද්ධ වන්නට බිලි වූයේ පුංචි දරුවන් බවත් අහිංසක ජීවිත බවත් මහින්දයන් සමාජයට පැහැදිලි කරයි. අහිංසක දරුවන්ගේ මව්පියන් මෙලොව හැරදා ගිය දා පටන් ලොව තනි වූ අහිංසක දරුවන්ගේ ජීවිතවලට අත්වන ඉරණම ගී පද රචකයා විමසීමට භාජනය කරයිෙ. තාත්තා අහිමි වු තැන අසරණ වූ දරුවා කඳවුරුදොරෙන් තම පියාගේ මුව මැවෙන තුරු බලා හිඳියි. නමුත් එය හීනයක් පමණක් වන බව මහින්දයන් පවසන්නේ ඉතා සියුම්ව ය. දරුවන්ගේ අවිහිසංක බලාපොරොත්තු මෙන් ම එකී බලාපොරොත්තු ඉටු නොවන බව ද ඔහුගේ ව්‍යංගාර්ථ පද භාවිතයෙන් ඉදිරිපත් කරයි.
‘තාත්තා හීනෙන් ඇවිත් දොර අරින තුරු කඳවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්’
කුරිරු ත‍්‍රස්තවාදය හේතුවෙන් බිලි වූ අහිංසක ජීවිතවලට අත්වන ඉරණම කුමක් වේ ද? විශේෂයෙන් ම තම දෙමව්පියන් අහිමි වූ හයක් හතරක් නොදත් දරු පරම්පරාවක අනාගතය කෙබඳු වේ ද යන පැනය ගී පද රචකයා සමාජයට ඉදිරිපත් කරයි. යුද්ධයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස අනාත වූ දරුවන් ධනපති පන්තියේ වහළුන් බවට පත් වීම වැළැක්විය නොහැකි කාරණයක් විය. කොළඹ රටේ ධනපතියන්ගේ මන්දිරවල කුණු වළං සේදීමටත් බැල මෙහෙවරකම් කරන්නටත් ඒ අහිංසක දරුවන්ට සිදු විය. එක් අතකින් ධනපතියන්ගේ ආරාධනාවන් ද තවත් අතකින් රුදුරු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගේ තුවක්කුව අතට ගැනීමට කෙරෙන ඇරයුම් ද හමුවේ මෙකී ජීවිත කොතරම් නම් අසරණ වන්නට ඇද්ද? අප දකින රාමුවෙන් පිටත සමාජයේ සිදු වූ එක්තරා සංවේදී සිදුවීම් කිහිපයක් එකට කැටි කරගනිමින් සමාජයට ඉදිරිපත් කරන්නට මහින්දයන් උත්සුක වී ඇත.
‘මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා අඬනා හඬින්
මාවතේ වැට අඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්’
ප‍්‍රශ්නවලින්, යුද්ධයේ භයංකර හඬින් අසරණව දුක්ඛදායක ජීවිතවලට උරුමකම් කී මෙකී අසරණ දරුවන්ට සමාජයෙන් ආරාධනා කරන්නේ ද ඔවුන්ගේ යහපත උදෙසා නොව තම තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සහ තමාගේ පහසුව උදෙසා මෙහෙකාරකම්වලට ගැනීමට ය. සමාජය කෙතරම් නම් පිරිහීමට පත් වී ඇත් ද යන්න මහින්දයන් සියුම් ව පෙන්වා දෙයි. මේ කුමන ගැටළුව හමුවේ වුව ද මෙකී තත්ත්වයෙන් අසරණ වූ දරුවන්ව බේරා ගැනීමට තරම් සමාජයට ශක්තියක් නොමැත. මෙකී සැම ක‍්‍රියාවක් ම එකිනෙකට බැඳුණු පුරුක් සහිත වූ ඒවා ය. යුද්ධයෙන් පීඩා විඳින දරුවන්ට රටේ කිසිම පුරවැසියෙකුගෙන් සහනයක් හිමි වන්නේ නැත. ඒ සඳහා මෙම සමාජ ක‍්‍රමය තුළ ඉඩක් ලැබෙන්නේ ද නැත. අනාගතයේ දී ද ඒ සඳහා ඉඩක් නොලැබෙණු ඇත. සමාජයේ පවතින රටාව අනුව එය එසේ විය යුතු ය. හිත උණුවන මිනිසුන්ට පවා කියන්නට කරන්නට දෙයක් මෙම ක‍්‍රමය තුළ නිර්මාණය වී නොමැත. මහින්දයන් එම සියුම් කරුණු අවබෝධ කරගනිමින් කෙටි වචන ප‍්‍රමාණයකින් සමාජයට එම පණිවිඩය ලබා දීමට උත්සාහ කරයි.
‘දමා ගොදුරට කෙලෙස යන්න ද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවාගන්නට දුවේ ඩිංගක් හිනැහියන්’
දවසින් දවස එකින් එක ජීවිත මෙම කුරිරු යුද්ධය හමුවේ බිලි වෙයි. එය නැවැත්විය නොහැකි බව රචකයා පවසයි. පුංචි දරුවෙකුගේ එක් හිනා පොදක් ඔහු ඉල්ලන්නේ ඔහුගේ හිත නිවාගනු පිණිස ය. ඔහුගේ හිතට දැනෙන දුක තුනී කරගැනීම සඳහා ඔහු මේ පද රචනා කරන්නට ඇත.
හුදෙක් ආමන්ත‍්‍රණශීලී පද භාවිතය තුළින් සමාජයට ආමන්ත‍්‍රණය කරන බවත් මෙම ගැටළු සමාජය වෙතට යොමු කරන බවත් හැඟේ. හදවතේ සියුම් ම තැනට පහර දෙමින් සමාජය තුළ කාලීනව පැවති ගැටළුවත් අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කළ බව ද මෙහිලා විශේෂයෙන් ම දැක්විය යුතු ය. එසේ ම සරල බස් වහරත්, ව්‍යංගාර්ථවත් පද භාවිතයත් හේතුවෙන් මිනිසුන්ගේ සිත් සතන් තුළ ඉතා තදින් රෝපණය වන්නට විය.
සරෝජා චිත‍්‍රපටය මීට සමානව ම නිර්මාණය වූ අද්වීතීය නිර්මාණයකි. සරෝජා ගීතය තුළින් ඉදිරිපත් වන සෑම කාරණාවක් ම මෙම චිත‍්‍රපටය තුළින් මනාව ඉදිරිපත් කරන්නට සෝමරත්න බාලසූරිය සමත් වී ඇත. ‘සරෝජා’ යන නාමය ම යොදාගනිමින් ගීතයේ දැක්වෙන හැඟීම ඒ ආකාරයෙන් ම ඉස්මතු කරගනිමින් නිෂ්පාදනය කරන්නට සෝමරත්න බාලසූරිය සමත් විය. එය මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කාරණාවකි.
